#Local News

මන්නා රොෂාන්ගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

පාතාල කල්ලි නායකයෙකු වන රොෂාන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ ට වෙඩිතබා ඇත්තේ සන්නද්ධ කණ්ඩායමක් විසින් බව මේ වනවිට හෙළිවී ඇත. 

විවිධ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායකයෙකු වන මන්නා රොෂාන් සහ ඔහුගේ සහායකයා වන සුපුන් නිමේෂ් නමැත්තාට පාදුක්ක තුන්නාන වෙන්දේසි වත්ත ඉඩමේදී ඊයේ (25) වෙඩිතබා තිබුණි.

එම වෙඩිතැබීම යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණයවී ඇතැයි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

ද්විත්ව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම මේ වනවිට CCTV දර්ශන 50කට අධික සංඛ්‍යාවක් සිය විමර්ශන සඳහා උපයෝගී කරගෙන ඇත.

ඝාතනයට ලක්වූ මන්නා රොෂාන් නමැත්තා දැඩිව හොරයින්  මත්ද්‍රවලට ඇබ්බැහි වූවකු බවට හෙළිවී තිබේ.

පසුගිය දින කිහිපයේ සිට ‘යුක්තිය’ මෙහෙයුම ක්‍රියාත්මකවීම හේතුවෙන් ඔහුට හොරයින් මත්කුඩු සොයා ගැනීමට නොහැකිව සිටි බවද පැවසෙයි.

ඒ හේතුවෙන්, ඩුබායිහි සැඟව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලලිත් කන්නන්ගර නමැත්තා සමග ඉකුත් 24 වනදා දුරකථන මාර්ගයෙන් පණිවිඩ හුවමාරු කරගෙන මත්කුඩු ඇනවුම් කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මත්කුඩු වෙනුවෙන් මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මත්කුඩු ලබාගැනීමට යන ලෙස ලලිත් කන්නන්ගර නමැත්තාගෙන් මන්නා රොෂාන් ට  ඇමතුමක් ලැබී තිබුණි.

ඒ වනවිට මන්නා රොෂාන්  රැඳී සිට ඇත්තේ පූගොඩ  බිරිඳගේ නිවසේ බවත්  ඔහු නිවසින් පිටව යාමට සූදානම් වීමේදී ඇය එය වැළක්වීමට උත්සාහ දරා ඇති බවත් තවදුරටත් හෙළිවී ඇත.

කෙසේවෙතත් මන්නා රොෂාන් සිය සහයකයා සමග සුඛෝභෝගී ජීප් රථයෙන් පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩම කරා පැමිණ ඇති අතර එයින් විනාඩි පහකට පමණ පසු  වෙඩික්කරුවන්  යතුරුපැදි දෙකකින් පැමිණ තිබුණු බව CCTV දර්ශනවලින් අනාවරණය වී තිබේ.

ලලිත් කන්නන්ගර නමැත්තා දුරකථනයෙන් ලබාදුන් තොරතුරු අනුව  මන්නා රොෂාන්ගේ  සහයකයා  මත්කුඩු පාර්සලය ලබාගැනීම සඳහා ජීප් රථයෙන්  බැස සිටියදී යතුරුපැදියෙන් එම ස්ථානයට කඩාවැදුණු වෙඩික්කරුවන් එක පිට එක වෙඩිප්‍රහාර එල්ල කර ඇති බවට පොලීසිය සැකකරයි.

ඒ බව ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ මළසිරුරු වැටී තිබුණු ආකාරයෙන් පැහැදිලි වන බවද එම නිලධාරීන් පවසයි.

එහිදී මන්නා රොෂාන් රියදුරු අසුන තුළත් සහයකයා ඉන් පිටතත් වෙඩිප්‍රහාරයන්ට ලක්වී තිබුණි.

එම වෙඩිප්‍රහාර මන්නා රොෂාන්ගේ හිසට, පපුවට, ඉන ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන ගණනාවකට එල්ලවී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.

මන්නා රොෂාන් නමැත්තා මත්කුඩු ජාවාරම සිදුකරන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස්  විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබාදීම හේතුවෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන බහුතරයක් දෙනා  ඔහු සමග විරසකවී සිට ඇති බව හෙළිවී ඇත.

ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරු වන ලලිත් කන්නංගර නමැත්තාද කලකට ඉහතදී මන්නා රොෂාන් සමඟ වීරසකවී ඇති බවද පොලීසිය සඳහන් කරයි. 

බෝම්බ ළඟ තබාගැනීම කප්පම් ගැනීම ආදී චෝදනාවන් රැසකට මන්නා රොෂාන් නැමැත්තාට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද වාර්තා වෙයි.

අනාවරණය වී ඇති තොරතුරු මත මෙම ඝාතනය බොහෝ දුරට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නන්ගර නමැත්තා විසින් සිය ගෝලයන් ලවා සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බවට සැක කළ හැකි බව ජ්‍යේෂඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *