#Local News

රට හැර යන සෞඛ්‍ය වෘත්තිකයන් ගැන ජනපති කතා කරයි

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත් එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (22) පස්වරුවේ එක් වෙමිනි.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබාදී තිබෙන බවත් “ලයිසියම් කැම්පස්” ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *