#Local News

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක්

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ලීසිං පදනම මත ලබාගත් Airbus A320 වර්ගයේ ගුවන් යානය 4R – ABS  අනුක්‍රමික අංකය යටතේ සිය ගුවන් යානා සමූහයට එක් කර ඇති අතර ඒ සමඟ ගුවන් සේවය සතු මුළු ගුවන් යානා ගණන 22 දක්වා ඉහළ නංවා ඇත.

වසර හයක කාලයක් සඳහා ලබාගත් මෙම ගුවන් යානය ඊයේ (21) සවස මැලේසියාවේ සිට කොළඹට පැමිණි අතර  කඩිනමින් මෙහෙයුම් සඳහා එක් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි මංගල ගුවන් ගමන 2023 දෙසැම්බර් 29 වන දින කටුනායක සිට මාලදිවයිනට දක්වා පියාසර කිරීමට නියමිතයි.

Sharklet wingtips තාක්ෂණයෙන් යුත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත මෙම 4R – ABS  ගුවන් යානය  ව්‍යාපාරික පන්තියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 138 කින් සමන්විත වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ, ඈත පෙරදිග සහ මැදපෙරදිග කෙටි දුර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේවන විට පටු බඳ සහිත ගුවන් යානා 12ක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 10ක් ඇත.

ගෝලීය වෙළඳපොළේ පවතින ගුවන් යානා සහ එන්ජින් හිඟය මෙන්ම සැපයුම් ජාල අඩාලවීම හේතුවෙන් නඩත්තු කාලය දීර්ඝ වීමත් නිසා මෙම වසර ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙන්ම සමස්ත ගුවන් සේවා කර්මාන්තයටම අභියෝගාත්මක විය. 2024 ජනවාරි මස ආරම්භය වන විට, wet-leasing පහසුකම යටතේ Airbus A330 වර්ගයේ ගුවන් යානයක් සහ තවත් එන්ජින් 2 ක් පැමිණීමත් සමඟ ගුවන් යානා 3 ක් එක්වීමට නියමිත අතර මාර්තු මාසයේ දී තවත් ගුවන් යානයක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 21 ක් සහ නගර 36 අතර කොළඹ සිට සෘජු මෙහෙයුම් පවත්වාගෙන යන අතර oneworld Alliance හි සාමාජිකයෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *