#Local News

ශ්‍රී ලාංකික මවකට ඔස්ට්‍රේලියාවේදී අත්වූ බිහිසුණු ඉරණම

සිය දියණිය සහ පවුලේ පිරිස සමඟ කල්ගත කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට ගිය ලාංකික  කාන්තාවක් මාරාන්තික බැක්ටීරියා ආසාදනයකට මුහුණ දී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදනාව දරාගැනීමට බැරි තාරම් අපහසු එම රෝගය වැළඳුණු කාන්තාව මේ වනවිට සිහිසුන්ව තබා ඇති බවය. 

74 හැවිරිදි කාර්මෙල් රොද්‍රිගු මේ වසරේ ආරම්භයේ ඔස්ට්‍රේලියාවට යන්නේ සිය දියණිය සහ ඇගේ පවුල සමඟ කල්ගත කිරීමේ අරමුණිනි.

මෙල්බර්න් නුවර වාසය කළ ඔවුන් සමඟ මාස කිහිපයක් සිටි ඇය හදිසියේ මෙලෙස රෝගාතුර වී තිබේ. 

කාර්මේල්ගේ වම් අත ඉදිමී නිල්පැහැව තිබූ අතර ඇයගේ දියණිය පළමුවෙන්ම සිය මව රැගෙන යන්නේ පවුලේ වෛද්‍යවරයා වෙතටය. 

නමුත්, තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඇය කඩිනමින් රෝහල්ගත කරන ලෙසට පවුලේ වෛද්‍යවරයා උපදෙස් දී තිබුණි. 

රෝහල්ගතකළ ඇයට වෛද්‍යවරුන් පවසන්නේ, ජීවිතය බේරාගැනීමට නම් වේදනාව ගෙනඑන වම් අත කපා ඉවත් කළ යුතු බවය. 

වම් අත කපා ඉවත් කිරීමෙන් පසුව සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණ වන්නේ ඇය ලක්ව ඇත්තේ දුර්ලභ බැක්ටීරියා ආසාදනයකට බවය. 

එය තුවාල ඇති ස්ථානවල සෛල, කුඩා රුධිර වාහිනී සහ සමට යටින් ඇති මේදය විනාශකර සම සහ මස් දිය කිරීමකට ලක් කෙරෙන තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසයි. 

ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ට අනුව මදුරුවන් සහ සතුන් මගින් ආසාදනය වන මෙම බැක්ටීරියා තත්ත්වය බුරුලි අල්සර් යනුවෙන් හඳුන්වයි.

එම ආසාදිත තත්ත්වය එරට ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තාවීමේ ඉහළයාමක් පසුගිය වසර කිහිපයේ වාර්තා වී තිබේ. 

දැනට ශල්‍යකර්මයකට බඳුන් කෙරුණු කාර්මෙල් මේ වනවිට සිය ජීවිතය සමග පොරබදිමින් මෙල්බර්න් නුවර සන්ෂයින් රෝහලේ ප්‍රතිකාර ලබයි. 

අත ඉවත්කිරීම නිසා පවතින දැඩි වේදනාව නොදැනෙන පරිදි ඇයව සිහිසුන්ව තැබීමට වෛද්‍යවරු පියවර ගෙන තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කාර්මෙල් රොද්‍රිගු නැමැති එම කාන්තාවට ප්‍රතිකාර සඳහා ඩොලර් 200,000කට වඩා වියදම් වන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් ඒ සඳහා අරමුදලක් ද ස්ථාපිත කර ඇති බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *