#Local News

සුනාමියක් නම් අනතුරු අඟවන්නේ මෙහෙමයි

ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට (26) වසර 19 ක් සපිරෙයි.

ඒ් මහා ඛේදවාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහි කිරීම දිවයින පුරා අදත් සිදුකෙරුණි.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පතුලේ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 9 ක තරම් ප්‍රබල භූ කම්පනය අවසන් වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගනිමිනි.

උදෑසන 6.58 ට පමණ සුමත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමි රළ අතරින් ප්‍රබලතම උදම් රළ පහර ඉන් පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800 ක තරම් වේගයකිනි.

ඒ උදෑසන නවයයි විසි හයට පමණ ය.

චණ්ඩ රළ පහර මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත තිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් බිලිගනිමින් රුපියල් කෝටි ගණනක දේපොළ ද විනාශ කළේ සිදු වූයේ කුමක්ද යන්න පවා සිතන්නට කාලයක් ඉතිරි නොකරමිනි.

මෙම ඛේදවාචකයෙන් රළ අතර සැඟවුණු ආදරණීයයන් සිහිපත් කරමින් වාර්ෂිකව සිදුවන නිහඬතාව සුරැකීම, අදත් පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා මිනිත්තු 02ක කාලයක් මුළුල්ලේ සිදුකෙරුණි.

මෙවන් පසුබිමක, සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා,

“සුනාමි උවදුරට ලක්විය හැකි දිස්ත්‍රික්ක 14 සිටින සියලුම ජනතාවට දුරකථන නාද මාලාවකින් ක්ෂණිකව සුනාමි උවදුරක් ඇති වන්නේ නම් ඒ ගැන දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සියලුම දුරකථන සේවාදායකයින් සමග සම්බන්ධීකරණයෙන් සිදුකරනවා.”

මේ අතර සුනාමියට ගොදුරු වී පඳුරක් මත සිටියදී සොයාගැනුණු පසුව, මව්වරුන් කිහිපදෙනෙකු අයිතිවාසිකම් කීම හේතුවෙන් ‘බේබි 81’ ලෙස ප්‍රකට වූ ජෙයරාස් අභිලාස්ට දැන් වයස අවුරුදු 19කි.

අද අභිලාස් ඔහුගේ පවුලේ ඥාතින් හා එක්වී සුනාමියෙන් දිවි අහිමිවූවන් සිහිකිරීමට එක්වී තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *