#Business #Local News

JAT Holdings 130% ක අපනයන වර්ධනයක් සමඟින් ඉහළම මට්ටමේ වර්ධනයක් වාර්තා කරයි

  • සමස්ත ආදායම 11% කින් ඉහළට
  • දළ ලාභය 2% කින් වර්ධනය වේ
  • සෞදි අරාබියේ, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපාර
  • පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහන මගින් පින්තාරු ශිල්පීන්ගේ ජීවනෝපාය සංවර්ධනය

දැව ආලේපන ආශ්‍රිත ව නැගී එන කලාපීය සමූහ ව්‍යාපාරයක් මෙන් ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුව අවසන් වන විට  ශක්තිමත් මූල්‍ය වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. පෙර වසරේ වාර්තා කළ රුපියල් මිලියන 795ට සාපේක්ෂ ව එම සමූහය මෙතෙක් වාර්තා කළ ඉහළ ම අපනයන ආදායම වූ රුපියල්  මිලියන 1,827 ක් වාර්තා කළ අතර, එය  130% ක වර්ධනයකි. මීට අමතරව සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස ​​හය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් මිලියන 4,392 සිට 4,878ක් දක්වා ඉහළ ගිය අතර, එය 11% ක වර්ධනයකි. එමෙන් ම සමූහය පෙර වසරේ දෙවන කාර්තුව තුළ වාර්තා කළ රුපියල් මිලියන 1,383ක දළ ලාභයට සාපේක්ෂව 2% ක වර්ධනයක් සමඟින් මෙම වසරේ අදාළ කාල වකවානුව තුළ රුපියල් මිලියන 1,417ක දළ ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

දේශීය සමාගම් සමූහයක් වන  JAT Holdings සමූහය සතු නවීන පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව කර්මාන්තශාලාව මගින් බංග්ලාදේශයේ නිෂ්පාදන මෙහෙයුම් ආශ්‍රිත ව සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීම ද විශේෂිත වේ. මෙම වර්ධනය අපනයන ඇතුළු ව්‍යාපාර කටයුතු පුළුල් වීමට මෙන් ම සමූහයේ සමස්ත වර්ධනයට ප්‍රධන වශයෙන් හේතු වී ඇති බව පැවසිය යුතු ම කරුණකි.

සමාලෝචිත කාර්තුව තුළ JAT Holdings සමූහයේ බදු පෙර ලාභය යම් මට්ටමකින් පහත වැටී තිබුණද,  සමූහයේ සන්නාම කළඹ සහ එහි දිගු කාලීන වෙළෙඳපොළ ප්‍රතිශතය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ  උපායමාර්ගික තීරණ ඔස්සේ එම තත්ත්වය අහිතකර නොවන අන්දමින් හසුරුවා ගනු ලැබීය.  මෙම උපාය මාර්ගික තීරණ අතර JAT Holdings සමූහය,  EV ජාලය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සෞදි අරාබිය තුළ  ක්‍රියාත්මක වන සිය  ව්‍යාපාරය විවිධාංගීකරණය කිරීමට කටයුතු කිරීම දැක්විය හැකිය.  සමූහය විසින් JAT Paints Africa සමාගම,  ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරිය සහ සිරස මාධ්‍ය ජාලය සමඟ එක්ව දැව පින්තාරු ශිල්පීන් බල ගැන්වීම වෙනුවෙන්  දියත් කළ ‘පින්තාරු ශිල්පී අභිමන්’  වැඩසටහන, මාලදිවයින, බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ආශ්‍රිත ව ක්‍රියාත්මක වන JAT ප්‍රදර්ශනාගාර සමඟ  ඒකාබද්ධ කිරීම සඳහා ද JAT Holdings සමූහය විශාල වශයෙන් ආයෝජනය කර ඇත.  ශ්‍රී ලංකාවේ නව බැඳුම් කර්මාන්තශාලාව සහ බංග්ලාදේශයේ ඇල්කිඩ් කම්හල ඒකාබද්ධ කිරීම, ඩිජිටල්කරණය සහ සමූහයේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම ආදිය වෙනුවෙන් සිදු කළ ආයෝජන ද මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.

විශේෂයෙන් මෑත කාලීන ව මතු වූ අර්බුදකාරී තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් සමූහයේ උපායමාර්ගික වැඩසටහන් පිළිබඳ ව අදහස් දක්වමින් JAT Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා පැවසුවේ, “සමූහයේ මූල්‍ය තත්ත්වය ඉතා ශක්තිමත් ව පැවතීම වගේ ම අපගේ ඉහළ වර්ධනය පිළිබඳ ව මා ප්‍රකාශ කරන්නේ ඉතා සතුටින්. මධ්‍ය කාලීන ව සහ  දිගු කාලීන ව  අපගේ පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීම අරමුණු කරමින්, අපගේ නිෂ්පාදන කළඹ සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් අපි විශාල වශයෙන් ආයෝජනය කිරීමට අරමුණු කර තිබෙනවා.  ඒ අනුව, අපගේ ඉලක්ක සපුරා ගැනීමට ධනාත්මක මුදල් ප්‍රවාහයක් සහ ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් (Liquidity) පවත්වා ගනිමින්, අපගේ ශේෂ පත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ස්වයංක්‍රීයකරණය සහ පිරිවැය කළමනාකරණ ක්‍රියා මාර්ග වෙත යොමු වීමට වගේ ම  අපනයන ව්‍යාප්තිය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව උපරිම කිරීමටත් අප අවධානය යොමු කොට තිබෙනවා.”

JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ඊලියන් ගුණවර්ධන මහතා මෙහි දී සිය අදහස් දක්වමින් පැවසුවේ, “අපගේ පාර්ශවකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීමේ අරමුණින් කටයුතු කිරීමේ දී අපි අපගේ ශක්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් වගේ ම ඇති විය හැකි ඕනෑ ම දුර්වලතාවක් මඟහරවා ගැනීම සඳහා දිගු කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා.  විශේෂයෙන් අප සමඟ සම්බන්ධ ව සිටින පාර්ශ්ව වෙත අවධානය යොමු කරන විට, බිම් මට්ටමේ අවදානමට ලක් විය හැකි පිරිස් වෙත සහයෝගය ලබා දෙන ‘පින්තාරු ශිල්පී අභිමන්’ වැනි වැඩසටහන් ඔස්සේ අඛණ්ඩ පිටු බලයක් ලබා දීමට ඉදිරියේ දී අපි කටයුතු කරනවා. ” යනුවෙනි.

ඒ අනුව, අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ, JAT Holdings PLC, සන්නාමවල සමාන බව ගොඩ නැංවීමට සහ සහයෝගීතා ශක්තිමත් කිරීමට උපාය මාර්ගික ව ආයෝජනය කිරීමට කටයුතු කිරීම තුළින් අපනයන අංශයේ සැලකිය යුතු වර්ධනයක් සහ ශක්තිමත් මූල්‍ය වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *